Wednesday, April 29, 2020

Principles of Surveying I


Construction Surveying ලිපියට ගොඩක් ප්‍රතිචාර තිබුන. මේ දින වල තිබෙන වසන්ගත තත්වයත් සමඟ පාඩම් අතපසු වීම සිදු උන Quantity Surveying  කරන අයට තමයි වැඩිපුර අවධානයක් දී තිබුණෙ. සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ නියලෙන හෝ ඒ සම්බන්ධව ඉගැන්වීමට/ කියදීමට කැමති අයට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. අපිට Email කරන්න. ඉදිරියේදී අළුත් වැඩ වලටත් සැලසුම් වගයක් තියෙනව ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. අද අපි Construction Surveying වල මූලික කරුණු ටිකක් බලමු.

බිම් මැනීමේ මූලධර්ම



පොළව මත නැත්නම් පෘථුවි පෘෂ්ඨය මත ඒ ඇසුරින් කරන මැනීමට තමයි බිම් මැනීමේ ක්‍රියාවලිය කියල කියන්නෙ. මෙහිදී ලබා ගන්න අවසන් ප්‍රතිඵලය, මැනීම සිදු කරනු ලබන අරමුණ, ක්ෂේත්‍රයේ ස්වභාවය, මැනීම සඳහා භාවිතා කරන උපකරණ වල ස්වභාවය අනුව වර්ග කිරීම සිදුකරනු ලබයි. මේ භාවිතා කරන මැනීමේ ක්‍රියාවලිය කුමක් උවත්, කුමන මැනුමක උවත් පදනම හා මූලධර්මය වී ඇත්තේ පූර්ණයේ සිට කොටසට වැඩ කිරීමයි. (Whole in to part). එනම් අප විසින් මනිනු ලබන ඕනෑම විශාල මැනුමක් ප්‍රධාන කොටස් වලට බෙදා එයත් නැවත උප කොටස් වලට බෙදීමෙන් මැනීම කරගෙන යා හැකිය.

මෙම කොටස් වලට බෙදීම සාර්ථකව කර ගැනීම සඳහා ප්‍රධාන ලෙස ක්‍රම 2කකට මිනුම් ගැනීම සිදු කරයි.

  1. පරික්‍රමණය
  2. ත්‍රිකෝණකරණය

පරික්‍රමණය

පරික්‍රමණයයක් යනුවෙන් හදුන්වනු ලබන්නේ අනුයාත ලක්ෂ්‍යය යා කරමින් අඛණ්ඩ ලක්ෂ්‍යය ජාලයකට සම්බන්ධය ලබා දීමයි.

ත්‍රිකෝණකරණය

ත්‍රිකෝණකරණය යනුවෙන් හදුන්වනු ලබන්නේ නිශ්චිත ලක්ෂ්‍යය 3ක් යා කර සෑදෙන ත්‍රිකෝණයේ ජ්‍යාමිතික සම්බන්ධතාව ලබා ගැනීමයි.

රේඛීය මිණුම් ගැනීම

රේඛීය මිනුමක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කිසියම් ලක්ෂ්‍යය 2ක් යා කරන කෙටිම දුර මැනීමයි. මේ සඳහා පහත උපකරණයන් අවශ්‍යතාව අනුව යොදාගත හැකිය.

රේඛීය මිණුම් ගැනීමේ උපකරණ

  1. මිනුම් පටි
  2. මිනුම් දම්වැල්
  3. මැනුම් රෝදය
  4. EDM උපකරණය (Electronic Distance Measurement Instrument)

මිනුම් පටි

වානේ මිනුම් පටි (Steel Tape)

 තුනී වානේ පටියකින් 15mm උපරිම පළලකින් උපරිම දිග 50m ඇති ලෙසත් මෙය නිර්මාණය කර ඇත. සුදු හෝ කහ පසුබිමක කළු හෝ රතු වර්ණයන්ගෙන් ක්‍රමාංකනය කර තිබේ. 1mm දක්වා වූ කුඩා මිනුම් මැනීමට හැකිවන ලෙස නිමවා ඇත. තියුණු නැමීම් වලදී නැවත සකස් කල නොහැකි ලෙස දෝශයන් ඇතිවේ. ජලය හා රසායනික ද්‍රව්‍ය වලදී හානි වීම සිදුවේ.

ලිනන් මිනුම් පටි (Linen Tape)


ලිනන් රෙදි පටි මගින් සකස් කර ඇත. රතු හෝ දුඹුරු පසු බිමක කළු හෝ රතු වර්ණයෙන් ක්‍රමාංකනය කර සාදා ඇත. මෙහිද මැනිය හැකි කුඩාම මිනුම 1mm වේ. රළු භාවිතා කිරීම් වලට මෙන්ම ජලයට, නැමීම් වලට හා සීරීම් වලට ඔරොත්තු දෙන ලෙස සකසා ඇත. මාර්ග වැඩ වලදී බහුලව භාවිතාවට ගැනීම සිදු කරනු ලැබේ.

කෘතීම මිනුම් පටි (Synthetic Tape)


සියුම් නයිලෝන් නූල් වලින් ගොතා පීවීසී ආවරනයක් යොදා 10mm පළල සහිත තුනී පටියක් ලෙස සාදා ඇත. සුදු පසුබිමේ ක්‍රමාංකනය සඳහා කළු හෝ රතු වර්ණ භාවිතා කරගෙන ඇත. උපරිම දිග 100m දක්වා ඇත. මෙහිද කුඩාම මිනුම 1mm දක්වා මැනිය හැකිය. සැහැල්ලු නිසා ඉදිකිරීම් කටයුතු වලදී භාවිතයට ගැනේ. ජලයට ඔරොත්තු දේ. සීරීම් වලදී ක්‍රමාංකනය කර ඇති දෑ මැකී යාමට පුළුවන.

මිනුම් දම්වැල්


මිනින්දෝරු දම්වැල (Surveyor’s Chain / Gunter's Chain)

දිග අඩි 66ක් ඇත. පුරුක් ගණන 100කි. ඉඩම් මැනීම සඳහා භාවිතා වේ. ගන්ටර් දම්වැල ලෙසද හඳුන්වනු ලැබේ. වර්ග දම්වැල් 10ක් අක්කර 1ක් ලෙස වර්ගඵලය ලැබේ. දම්වැල් 80ක දිගක් සැතපුම් 1ක් වේ.

ඉංජිනේරු දම්වැල (Engineer’s Chain)

පුරුක් 100කින් සමන්විත මෙය අඩි 100ක් දිගය. එනම් එක පුරුකක දිහ අඩියකි. මහාමාර්ග හා වාරිමාර්ග වැනි ඉංජිනේරු කටයුතු සඳහා මෙය භාවිතා කරනු ලැබේ.

මෙට්‍රික් දම්වැල (Metric Chain)

දිග 10, 20, 25,30 ආදී විවිධ ප්‍රමාණ වලින් ඇත. පුරුක් 100කි. මෙට්‍රික් ක්‍රමයෙන් මනින ඉංජිනේරු කටයුතු සඳහා භාවිතා කරනු ලබයි.

මේ සෑම දම්වැලක්ම අල්ලුම සමඟ දිග ගනන් ගැනේ. දෝෂ ඇතිවුවහොත් කම්මලේ තලා නවා සකසා ගත හැකිය. 4mm පමණ උපරිම විශ්කම්භයෙන් ඇති කම්බි වලින් පුරුක් සාදා ඇත. මේවායේ පාඨාංක ගැනීමේදී දුර සිට පාඨාංක ගැනීමේ හැකියාවක් ඇත.

මේවායෙන් මැනීම් කටයුතු කරන ආකාරය ඉදිරියේදී බලමු. මැනුම් රෝදය හා EDM උපකරණය ගැන ඊළඟ ලිපියෙන් අරගෙන එන්නම්. කතා කරපු කොටස් වල ගැටළු තියෙනවනම් අපිට කියන්න.

Like කරන්න NavitaAcademy Facebook Page එකට

Join වෙන්න NavitaAcademy Facebook Group එකට

Follow කරන්න NavitaAcademy Blog එක

Follow කරන්න NavitaAcademy Twitter එක

Follow කරන්න NavitaAcademy Instagram එක

Email කරන්න Navita Academy Email එකට




2 comments: