Monday, April 13, 2020

PREPARATION OF BILL OF QUANTITIES I


ආයුබෝවන් සියළු දෙනාට,

මේක තමා මගෙ පළමු ලිපිය. ඉදි කිරිම් ක්ෂේත්‍රය කියන්නෙ ලොකු මාතෘකාවක්. ඒක ගැන තමා මේකෙන් ඔයාලව දැනුවත් කරන්න බලපොරොත්තු වෙන්නෙ. මගේ මූලික අරමුණ තමා මේ ක්ෂේත්‍රය තුල සිටින ඉගෙන ගන්න අයට යමක් කියල දෙන්න.
ජාතික තාක්ෂණික සහතිකය සිවිල් ඉංජිනේරු, ජාතික තාක්ෂණික සහතිකය ප්‍රමාණ සමීක්ෂක, සහකාර ප්‍රමාණ සමීක්ෂක වගේ කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.ඒ පාඨමාලාවලට ටිකක් නැඹුරු වෙලා කරන ගමන් දැනුමත් බෙදා ගමු.ඔයාලට මොන වගේ කරුණු දැම්මොත් හොඳයිද කියල පහතින් comment හරි අපිට Email එකක් හරි දාන්න.අපේ Navita Academy facebook page එකත් එක්ක like එකක් දාල එකතුවෙන්න කියලත් කියන ගමන් අපි යමු වැඩේට.






මේ ක්ෂේත්‍රයේ ගොඩක් තියෙන්නෙ ඉංග්‍රීසි පොත්පත්. අළුත් අයට පොඩ්ඩක් අමාරුයි ඉතින්. නමුත් අපි වැඩ කරන්න පටන් ගත්තම සමහර වචන අපිට සිංහලෙන් හොයා ගන්නත් අමාරුයි. ඔයත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවනම් අනිවාරෙන්ම ඉංග්‍රීසි ටික ටික පුරුදු වෙන්න වෙනව.නිතරම තියෙන වචන මම සඳහන් කරන්නම්.

හරි, මුලින්ම මන් අද ඉදල පටන් ගන්න හදන්නෙ කොහොමද ප්‍රමාණ බිල් පත්‍රයක් (Bill of Quantities – BOQ) නිවැරදිව හදා ගන්නෙ කියල පියවරෙන් පියවර කියල දෙන්නයි.එහෙනම් අපි වැඩේට බහිමු.

ප්‍රමාණ බිල් පත්‍රයක් සාදා ගන්නේ කෙසේද?


මොකක්ද ඇත්තටම මේ ප්‍රමාණ බිල් පත්‍රයක් කියන්නෙ කියල බලමු. ඔයාලට වැඩේ ලේසි වෙන්න ගොඩනැගිල්ලක් උදාහරණයට ගමු. ගොඩනැගිල්ලක් වගේම තමා අනිත් ඒවත්. අනිත් ඒවා කියන්නෙ පාරවල්, පාලම්, බෝක්කු, වාරි මාර්ග ඉදි කිරීම් වගේ ඒව.අපි මොකක් හරි ඉදිකිරීමක් කරන්න කලින් එයට මුදල් වෙන් කිරිමක් (money allocation) කර ගන්න එකක් තමා සරලව වෙන්නෙ. හැබැයි ඒක විතරක් නෙමේ අපි කරන ගොඩනැගිල්ලේ නිමාව (finish) කෙසේ විය යුතුද? ඒ සඳහා කොපමණ කල් (time) යනවද? ඒ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය (material) මොනවද? ඒවාගේ ගුණාත්මක (quality) භාවය කොහොම වෙන්න ඕනද මේ හැම එකක්ම සඳහන් වෙන්න ඕන.

ප්‍රමාණ බිල් පත්‍රයක් යනු කුමක්ද?


ගොඩනැගිල්ලක විවිධ සංරචක (components) හෙවත් අංගයන්ගේ එකතුවක් තර්කාණුකූල ලෙස පෙලගස්වා ප්‍රමාණ බිල් පත්‍රයක් (BOQ)  සාදා ඇත. ගෘහනිර්මාණ ශිල්පියෙක්/ සැලසුම් ශිල්පියෙකු විසින් අඳින ලද සැලසුමකට අනුව ප්‍රමාණ සමීක්ෂකයෙකු (Quantity Surveyor - QS)  විසින් එයට අදාල මිනුම් (measurements)  සුදුසු සම්මත මිනුම් ක්‍රමයක (Standard method of measurements - SMM)   ආධාරයෙන් ලබාගෙන ඒ එක් එක් අංග සඳහා සවිස්තරාත්මක වැඩ විස්තරයක් (Description)  , එහි ඒකක (Unit)  , හා ඇස්තමේන්තු කල ප්‍රමාණ (Quantities)   පැහැදිලිව දක්වා ඇත.මේ ඉදිරිපත් කිරීමේදී අදාල වැඩයට අදාල සියළුම අමුද්‍රව්‍ය (materials)  , ශ්‍රමය (labor)   ඇතුලත් කර ඒකක මිලක් (unit rate) ඇතුලත් කර මිල කල ප්‍රමාණ බිල් පතක් (Priced BOQ)  සාදා ගනු ලබයි.

මේක ටිකක් සංකීරණ ක්‍රියාවලියක්. අපි ඉස්සරහට මේක කරන්නෙ කොහොමද කියල පියවරෙන් පියවර සරලව විස්තර කරන්න බලාපොරොත්තු වෙනව.වෘත්තීය ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙනවනම් හා මේ සම්බන්ධ ඉගෙන ගන්න ආශාවක් තියෙන ඔයාලට මේවගෙන් ගොඩක් ගන්න දේවල් තියෙයි. කොහොමද වෘත්තීය ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙන්නෙ මොනවද ඒ ආයතන කියලත් පසුව කියල දෙන්නම්.

ඇයි මේ ප්‍රමාණ බිල් පත්‍රයක්?


හොඳයි අපි බලමු මීලඟට මොකටද මේ ප්‍රමාණ බිල් පතක් කියල.වරහන් ඇතුලෙ සරලව දැනට තේරෙන විදිහට කියල දෙන්නම්. ඉදිරියේ මේ හැම දෙයක්ම විස්තර කරන්න අපි බලාපොරොත්තු වෙනව
  • ව්‍යාපෘතියේ පිරිවැය ගණනය කර ගැනීම සඳහා. (පිරිවැය කියන්නෙ කොපමණ මුදලක් අපේ මේ ඉදිකිරීමට යනවද කියල බලන එකටයි. මෙහෙම BOQ එකක් හදල අපිට නිවැරදිව ඒක බලාගන්න පුළුවන්.)
  • ටෙන්ඩර් කටයුතු සඳහා. (ටෙන්ඩරයක් කියන්නෙ අපිට අවශ්‍ය දෙයක් ලබා ගැනීමට භාවිතා කරන ක්‍රියා පටිපාටියක්. ඒකාකාරී විදියට තියෙද්දි අපිට සැසඳීමේදී පහසුවක් වෙනව.)
  • අතුරු තක්සේරු ගිණුම් සැකසීමට හා ඇගයීම සඳහා. (අතුරු තක්සේරුවක් කියන්නෙ කොන්ත්‍රාත්කරු කරන ලද වැඩ වලට මුදල් අය කර ගැනීමට සාදන ලියවිල්ලක්.)
  • වැඩ විචල්‍යයන් ඇගයීම සඳහා. (කොන්ත්‍රාත්තුව කරගෙන යන විට එහි සිදුවන වෙනසක් ඒ කියන්නෙ වැඩයේ අඩුවීමක්, එකතු වීමක් වගේ වුනොත් ඒකට තමා විචල්‍යයක් කියන්නේ. මේවා අවස්තානුකූලව අගයන ක්‍රම තියෙනව.)
  • අමුද්‍රව්‍ය ඇනවුම් කිරීමට. (කොන්ත්‍රාත්තුව නැත්නම් අපේ වැඩය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙහි ඇති ප්‍රමාණ වලින් කෙලින්ම ගන්න පුළුවන්. 100% නිවැරදිම යොදාගන්න බැරි උනත් අත්දැකීමුත් එක්ක කරගන්න බැරිකමකුත් නැහැ.)
  • ඉදිරි වැඩ සඳහා මෙහි වියදම් වුන මුදල් විශ්ලේෂනය කරල තියාගන්න පුළුවන්.පස්සෙ වැඩක් නැහැ කියල හිතනව නේද? දැන් කරන කොන්ත්‍රාත් එක පාඩු උනත් ඉස්සරහට අපිට පරිශීලනය කරන්න එකක් තියෙනව නැත්නම් ඒකත් පාඩු වෙන්න ඉඩ තියෙනව.
  • ඉදිකිරීම් කටයුතු කරන කාලය, අමුද්‍රව්‍ය ගේන ඒව, සේවක මහතුන් කොයි කාල වලද එන්න ඕන වගේ ව්‍යාපෘතිය සැලසුම් කිරීමට හා එය ඒ සැලසුම් කල විදියට වෙනවද කියල ආවේක්ෂණය නැත්නම් අධීක්ෂණය කරන්නත් ඕන වෙනව.
  • උප කොන්ත්‍රාත් කරුවන්ගේ මිල ගනන් ප්‍රධාන කොන්ත්‍රාත් එකත් සමඟ සංසංදනය කරල නිවැරදිව මිල දෙන්නත් යොදා ගන්න පුළුවන්. (උප කොන්ත්‍රාත්කරුවන් කියන්නෙ ප්‍රධාන කොන්ත්‍රාත්කරු යටතේ වැඩ කරන අය. එයාලත් තව වර්ග ඉන්නව. ඉදිරියේදී බලමු අපි ඒ වර්ගත්)
  • අවසාන ගිණුම හදන්නත් එය ඇගයීමටත් උපකාරී වෙනව. (අවසාන ගිණුම කියන්නෙ කොන්ත්‍රාත් කරු විසින් කරන ලද වැඩ නියමිත පිරිවිතරයන්ට අනුව නිම කලාට පසු කරන ලද වැඩ වලට අය කර ගැනීම සඳහා සකසන ලියකියවිල්ලක්. පස්සෙ මේක ගැන කතා කරමු.)

මේ තියෙන්නෙ BOQ එකෙන් ගන්න පුළුවන් මූලික වැඩ ටිකක් තමා. හොඳයි එහෙනම් ඊලඟ ලිපියෙන් අපි බලමු BOQ වර්ග මොනවද කියල හා වැඩි විස්තරත්. හොඳයි කියල හිතෙනවනම් Comment එකක් දෙන්න. යාළුවන්ටත් බලන්න share කරන්න.

8 comments: