Monday, May 11, 2020

Chain Surveying I




Surveying පාඩම් මාලාවේ අද අපි අරගෙන ආවේ දම්වැල් මැනුම හා එහි මූලධර්ම ගැනයි. මේ ලිපි මාලාවත් සමඟ දිගටම අධ්‍යයන කටයුතු කරගෙන ගියොත් හොඳ අවබෝධයක් ලබා ගන්න හා NCT (Civil) පාඨමාලාව සාර්ථක කරගන්නත් රුකුවහලක් වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් ප්‍රායෝගිකව මේවා ඔබගේ අධ්‍යාපන ආයතනය තුල කරල බලන්න. ගොඩක් දේවල් මෙහි තියෙන අමාරු වගේ තිබුනට Practical කලානම් අනිවාර්යයෙන්ම ඉතාම ලේසි විෂයක්.


මොකක්ද මේ දම්වැල් මැනුම? Chain Surveying

දම්වැල් මැනුම යනු දිග මැනීමේ උපකරණයක් වශයෙන් දම්වැල පමණක්ද සහ ඊට සහායක උපකරණ කිහිපයක්ද පමණක් භාවිතා කරමින් රේඛීය දුරවල් පමණක් යොදා කරන මැනුමකි. ඉතාම ප්‍රායෝගික හා සරල මූලධර්ම කිහිපයක් යොදා ගනිමින් මෙය සිදුකරයි. මේ සඳහා ප්‍රධාන මූලධර්ම වගයක් අපි භාවිතා කරනව. බලමු ඒ මූලධර්ම මොනවද කියල.

දම්වැල් මැනුමේ මූලධර්ම

  • ප්‍රධාන පාදම් රේඛාවට සාපේක්ෂව මනාව සැකසූ ත්‍රිකෝණ වල පාද වල දිග පමණක් මැනීම මගින් කරන මැනුමකි.
  • මායිම් වලට හා දත්තයන්ට විස්තර සටහන් කර ගැනීම සඳහා සෘජුකෝණී හා විෂම කෝණී අනුලම්භ මනිනු ලබන මැනුම් ක්‍රමයකි.
  • ලබාගත් මිනුම් වල නිවැරදිභාවය තහවුරු කරගැනීම සඳහා ආවේක්ෂණ මිනුම් ලබාගන්නා ක්‍රමයකි.

මෙන්න මේ මූලධර්මයන් භාවිතා කරල දම්වැල් මැනුමක් කරන්න සුදුසු අවස්ථාවන් මොනවද කියල දැන් බලමු.

දම්වැල් මැනුම උපයෝගී කරගත හැකි අවස්ථා.

  • ආසන්න වශයෙන් තිරස් භූමියක් වඩාත් ගැලපේ.
  • ඝණ කැලෑ, කටු පඳුරු වලින් තොර භූමියක් විය යුතුය.
  • වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි වන දත්තයන් සීමිත සංඛ්‍යාවක් ඇති භූමියක් වඩාත් ගැලපේ.
  • මහාමාර්ගය හෝ ජනගහනය බහුල භූමියක් මැනීම අපහසුය.
  • මඩවගුරක් හෝ ජලාශ සහිත භූමියක් මැනීම අපහසුය.
  • අවිධිමත් මායිම් හෝ කඳු, හෙල්, ඉවුරු සහිත බිමක් මැනීම අපහසුය.

දැන් බලනව ඇති දම්වැල් මැනුමෙන් එකක්වත් මනින්න බැහැ නේද කියල. නැහැ. ඉහත ඒවා සියල්ලම මැනීමට පුළුවන්. ඉතා අපහසු වෙනව නමුත්. එමනිසා දම්වැල් මැනුමට වඩා යෝග්‍ය වන්නේ සරල භූමි ප්‍රදේශයන්ය.

දම්වැල් මැනුම සඳහා දම්වැල් රේඛා තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු.

  • කිසියම් ඉඩමක මැනිය හැකි දිගම සහ සරලම රේඛාව ප්‍රධාන පාදම් රේඛාව ලෙස සැලකිය යුතුය. (ඒ කියන්නෙ අපි මනින භූමිය හරහා දම්වැල එකදිගටම එලන්න පුළුවන් වෙන රේඛාව තෝරගන්න ඕන මිනුම කරන්න කලින්. ඒ රේඛාව තමයි අපේ ප්‍රධාන රේඛාව වෙන්නෙ. ඒ රේඛාවට සාපේක්ෂව තමයි අනික් මිනුම් ගන්නෙ. එම නිසා තමයි එයට ප්‍රධාන පාදම් රේඛාව කියන්නෙ.)
  • සෑම දම්වැල් රේඛාවකින්ම මනාව සැකසූ ත්‍රිකෝණයක පාදයක් නියෝජනය කල යුතුය. (මනාව සැකසූ ත්‍රිකෝණයක් කියල කියන්නෙ ආසන්න වශයෙන් සමපාද ත්‍රිකෝණයකට)
  • සෑම දම්වැල් රේඛාවක්ම හැකිතාක් තිරස් විය යුතුයි.
  • දම්වැල් රේඛාවට හමුවන බාධක අවම විය යුතුය.
  • ගොඩනැගිලි හා මායිම්වලට හැකිතාක් ආසන්නව හා සමාන්තර විය යුතුය.

ඔන්න ඔය කරුණු ගැන තමයි සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙන්නෙ. දැන් දම්වැල් මැනුමක මූලික කරුණු ටික ගැන දන්නවනෙ. මේ කරුණු හොඳට නැවත නැවත බලල අවධාරණය කරගන්න. ඊළඟ ලිපියෙන් අපි පිරික්සුම් සටහන් ගැන හා මිනුම් සටහන් කර ගැනීම ගැන බලමු.

ඔයාලගෙ යාළුවන්ටත් අපිත් එක්ක එකතු වෙන්න කියන්න. Blog එක share කරන්න. ඔයාලත් Follow කරල තියගන්න. මේ සම්බන්ධ ගැටළු තිබුණහොත් Navita Academy Facebook Page එකේ හරි Navita Facebook Group එකේ හරි යොමු කරන්න.

ගොඩක් දෙනා ප්‍රශ්ණ අහල තිබුණ. ඒ සියල්ලටම මම පුළුවන් විදිහට පිළිතුරු සපයනව. ප්‍රමාද උනානම් සමාවෙන්න. සමහර ඒවාට අපි ඉදිරියේදී ලිපි මඟින්ම පිළිතුරු දෙන්නම්.

අපේ මීලඟ ලිපියේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ පිරික්සුම් සටහනක් කියන්නෙ මොකක්ද කියල. 



No comments:

Post a Comment